මගේ හිත දියකඩිත්තකි කව්රුන් හෝ
අැරඹුවද කිසිදා නිමා නොකල
යනෙන ගමනක නන්නාඳුන්නෙකු
ගලෙක බැඳ විසි කල ඕලු අලයක
එකම පැලයක් ජල තය වසාගෙන් ඇත
ඉද හිට මල් පිපී පරවගිය
හුළඟ අරන් එන කුණු රොඩු තොග ගණන් ගොඩ
වැහි වතුර එනකොට තැගි ගෙනාව මඩ
තවත් හුඟක් දේවල් යනෙන අය විසිකල
අඩියෙම නිදන් කොට තබා ඇත සුරක්ෂිතව
දෙතුන් දෙනෙකුගේ තිත්ත පැටවි රැල
ඉදහිට කොහෙන්දෝ ඇවිදින්
පීහිනා එක්වරම අතුරුදහන් උන
හිතත් හරියට පුංච් විලක් වගෙයි මං බාගෙට හදාපු
මඩ එක්ක රොඩු බෝතල් කටු කම්බි
හැම දෙයක්ම අඩියේම තිබ්බට
කෙනෙකුන් ඉදහිට දාහය නිවා ගත්තු
වතුර පැහැදිලි පිරිසිදුයි නිසල හන්දම
හිටි හැටියෙම දවසකදි වැස්සක
වැසි වතුරෙන් දිය අපැහැදිලි උනාම
තරහට කෙනෙකුන් අත දමා අඩියට
දින ගණන් ගෙවා පතුලෙම සැඟවුන
කුණු සියල්ලම කලතා මතු පිට වෙත ගෙනාව
මල් පිපෙන්නට ඉඳ හිට වෙර දරාපු
ඕළු අල ඉදිරිලා මිය ගිය
දෙතුන් වතාවක් ඇවිත් ගිය සතුටින් පිහිනා ගිය
තිත්තයන් බොරදිය දරාගත නොහී මියැදුන
අකමැතිය
මම බොර දිය දරා සිටුමට
දියෙන් මඩ වෙන් කෙරුම නොහැකිය
මලකුණත් තවම මතුපිට ගඳගසා පාවෙන
ආයෙම පැහැදිලි දිය මතුව එනතුරු
බලාසිටිනු නොහැකිය ආයෙම දිගු කලක්
දුක මතුපිට දරාගෙන
ටිකින් ටික විසිකරමි බොර දිය
අවසන දිය සිඳි හිස්ව යනතුරු
ඉරි තලා ගිය පතුලට කෑගසා කියමි මම
නියඟයයි අද සිට යලි කිසිදාක වැසි නොලබන
අගෙයි කවිය
ReplyDeleteපට්ට පට්ට....
ReplyDelete